ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි නාමල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් A330 වර්ගයේ ගුවන් යානා 06ක් සහ A350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එවකට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වී තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම ආරම්භ කළ විමර්ශනයකට අදාළව කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මාර්තු 12 වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ඇප මත මුදා හැර තිබුණි.
ඇප මත සිටියදී කපිල චන්ද්‍රසේන මහතා පසුගිය මැයි 08 වනදා අභිරහස් ලෙස මියගොස් සිටි අතර, එය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය සැක පළ කළේය.
මේ අතර එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට සහාය දැක්වීම සඳහා ප්‍රංශයේ එයාර්බස් මව් සමාගමේ නියෝජිතයන් පිරිසක්ද පසුගිය අගෝස්තු මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.
එවැනි පසුබිමක එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට කළ කැඳවීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.15ට පමණ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.
අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

