සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නන්ගර මහතා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම එහි ප්‍රධාන අරමුණු වේ.
කෙටුම්පත අනුව පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජලභීතිකා රෝගයට එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.
එහි සිව්වැනි වගන්තියට අනුව සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදිය හැක්කේ පශු වෛද්‍යවරයෙකු හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ පමණි.
කෙසේවෙතත්, මෙම ප්රතිපාදනය හේතුවෙන් මෙරට ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව GMOA පෙන්වා දෙයි.

