අතුරුගිරිය – හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් විය හැකි බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘හබරකඩ කසුන්’ගේ ඥාති සහෝදරයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වේ.
වෙඩිතැබීමෙන් 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් පැවසුවේ වෙඩි හඬ තුනක් පමණ ඇසුණු බවත්, වෙඩිතැබීමෙන් අනතුරුව සැකකරුවන් යතුරුපැදියෙන් පලාගිය බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

