මහරගම අපේක්ෂා රෝහලේ CT සිමියුලේටර් යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට නියමිත රෝගීන් 1,500කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, නව යන්ත්‍රයේ මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංගය සමඟ නොගැළපීම හේතුවෙන් මෙම තාක්ෂණික ගැටලුව මතුව ඇති බවය.
රෝහලේ පැරණි CT සිමියුලේටර් යන්ත්‍රය ඉවත් කර ඒ වෙනුවට නව යන්ත්‍රයක් ස්ථාපනය කර පසුගිය මාසයේදී රෝහල් කාර්ය මණ්ඩලයට භාරදී තිබුණද, එය තවමත් ප්‍රතිකාර කටයුතු සඳහා භාවිත කිරීමට නොහැකි වී ඇති බව ඔහු පැවසීය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මාස කිහිපයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
විකිරණ ප්‍රතිකාර ප්‍රමාද වීම රෝගීන්ට බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වා දුන් ඔහු, ඇතැම් රෝගීන්ට සැත්කම්වලින් හෝ රසායනික චිකිත්සක ප්රතිකාරවලින් පසුව නියමිත කාලයේදී විකිරණ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බවද පැවසීය.
එවැනි ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් ලබාගැනීම සඳහා එක් රෝගියෙකුට රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැය කිරීමට සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ රෝගීන්ට විකිරණ ප්‍රතිකාර කඩිනමින් ලබාදීම සඳහා අදාළ තාක්ෂණික ගැටලුවට වහාම විසඳුමක් ලබාදිය යුතු බව සංගමය අවධාරණය කරයි.

