ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (08) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම එම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.
සංචාරය අතරතුරදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.
පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු-ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
වසර 38කට පසුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතවීම මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස සැලකේ.
මේ අතර, රාජ්නාත් සිං මහතාගේ සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි.
ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට පියවර ගෙන තිබේ.

