Homeසියලුම පුවත්එළැඹෙන සඳුදා වැඩවර්ජනයට එක්වනවාද? GMOA තීරණය අද

එළැඹෙන සඳුදා වැඩවර්ජනයට එක්වනවාද? GMOA තීරණය අද

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීම අද (27) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.එළැඹෙන නොවැම්බර් 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද, නැතහොත් වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳව මෙහිදී තීරණය කිරීමට නියමිත බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.ඔහු පවසන්නේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු මෙන්ම ආර්ථික අසාධාරණය සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාගැනීමට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.ජනාධිපතිවරයාගෙන් පස් වතාවකට වැඩි ප්‍රමාණයක්ද, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක්ද, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් තුන් වතාවක්ද සාකච්ඡා ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.එමෙන්ම, වෛද්‍යවරුන්ගේ මූලික වැටුප් ඉහළ දැමීම සාධනීය පියවරක් බව පිළිගන්නා නමුත් 2025 වසරේදී අමතර රාජකාරි දීමනා සහ නිවාඩු දින ගෙවීම්වලින් තුනෙන් එකක් කප්පාදු කළ බවද ඔහු පැවසීය.එම කප්පාදුව හේතුවෙන් පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි 4,400ක මුදලක් රටට ඉතිරි කර දී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව, ලබන සතිය තුළ ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ග, එය නොවැම්බර් 30 වනදා සිදුකරන්නේද නැතහොත් වෙනත් දිනයක සිදුකරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය අදම රටට දැනුම් දීමට සංගමය සූදානමින් සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments