Homeසියලුම පුවත්නාමල්ගේ ඇප ඉල්ලීම 29දා – එතෙක් රිමාන්ඩ්

නාමල්ගේ ඇප ඉල්ලීම 29දා – එතෙක් රිමාන්ඩ්

රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගත් බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එතෙක් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

ඇප ඉල්ලීමට අදාළ විත්තියේ ලිඛිත දේශන ලබන 22 වනදාත්, පැමිණිල්ලේ ලිඛිත දේශන ලබන 25 වනදාත් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අද (18) නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් චෝදනා මෙන්ම මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාද අනාවරණය වී ඇති බැවින් අල්ලස් කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විමර්ශන සිදුකරන බව සඳහන් කළේය.

මෙම විමර්ශනයට අදාළව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගෙන් මෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මියගොස් ඇති බවත්, දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක ඕස්ට්‍රේලියාවටත්, තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ ඇමරිකාවටත් ගොස් ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කළේය.

ශමින්ද්‍ර රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවත්, ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන්ද රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප ඉල්ලා සිටිමින්, ජාත්‍යන්තර මට්ටමේ සිදුකළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශන වාර්තාවේ නාමල් රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවන බව පෙන්වා දුන්නේය.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදී ඇති නිමල් පෙරේරා නමැති පුද්ගලයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන්ද විත්තිය කරුණු ඉදිරිපත් කළේය. ඉන්දියානු සංචාරයක් සඳහා නාමල් රාජපක්ෂ මහතාට ලැබී ඇති ආරාධනාවක් සහ සැප්තැම්බර් 26 වනදා පැවැත්වීමට නියමිත ආගමික කටයුත්තක් සඳහා ලැබී ඇති ආරාධනාවක්ද සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ නිමල් පෙරේරාගේ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් තීරණයක් ලබාදිය හැක්කේ නඩු විභාගයකදී පමණක් බවයි. ඉන්දියානු සංචාරය සහ ආගමික කටයුත්තක් සඳහා ලැබුණු ආරාධනාවද සුවිශේෂී කරුණු ලෙස සැලකිය නොහැකි බව ඔහු පැවසීය.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments