පාසල් සහ උපකාරක පන්තිවල බාලවයස්කාර සිසුන් ඉලක්ක කර ගනිමින් දුම්වැටි අලෙවි කළ බවට හඳුනාගත් කිලිනොච්චිය නගරයේ වෙළෙඳසැල් හිමියන් 13 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
කිලිනොච්චිය කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනුව පසුගිය 28 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව, වෙළෙඳසැල් හිමියන් 13 දෙනාට එරෙහිව ජූලි 1 වැනිදා කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
අධිකරණය හමුවේ වරද පිළිගත් වෙළෙඳසැල් හිමියන් 11 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කර ඇති අතර, අධිකරණයේ පෙනී නොසිටි අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බාලවයස්කාර සිසුන්ට දුම්වැටි අලෙවි කළ වෙළෙඳුන්ට දඩ

