රටක් ගොඩනැගීම සඳහා භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ බැඳුණු සංවර්ධනයක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය, දහම් පාසල් නංවාලීම, විනාශයට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ ජාතික කෞතුකාගාරය ඇතුළු ඓතිහාසික ආයතන ඩිජිටල්කරණය කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ කළමනාකරණයේ පවතින ගැටලු විසඳා ජනතා දේපොළ විධිමත්ව භාවිත කිරීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

