මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ප්රචණ්ඩ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අතරතුර, රැඳවියන් විසින් භාවිත කළ බවට සැක කෙරෙන ආයුධ සහ අනෙකුත් ප්රහාරක උපකරණ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සොයාගෙන තිබේ.
පොලිසිය පවසන්නේ, බන්ධනාගාර පරිශ්රය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුමේදී පොලුමුගුරු 1,000කට අධික ප්රමාණයක්, තියුණු ආයුධ රැසක් සහ යකඩ පොලු තොගයක් සොයාගත් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ගැටුම අතරතුර රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයට ඇතුළු වී එහි තිබූ තියුණු ආයුධ ලබාගෙන නිලධාරීන්ට පහරදීමට යොදාගෙන ඇති බවයි. එමෙන්ම මුළුතැන්ගෙයේ තිබූ පොල්ගෙඩිද රැගෙන ඒවා භාවිත කරමින්ද ප්රහාර එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම ප්රචණ්ඩ සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සිද්ධියේ සියලු කරුණු අනාවරණය කර ගැනීම සඳහා CID විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමත් සමඟ එම ආයතනවල පවතින ඉඩකඩ තවදුරටත් සීමා වී ඇති බව වාර්තා වේ.
තවද, මාරු කර යැවූ ඇතැම් රැඳවියන්ට එම බන්ධනාගාරවල සිටි අනෙකුත් රැඳවියන් විසින් පහරදීම් සිදුකළ බවටද තොරතුරු වාර්තා වන අතර, ඒ පිළිබඳවද අදාළ අංශ වැඩිදුර සොයාබලමින් සිටී.

