වසරක් ඇතුළත පෞද්ගලික අංශයටද මෙට්‍රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
දැනට මෙට්‍රෝ බස් රථ සියයකට අධික සංඛ්‍යාවක් ධාවනය වන බවත්, පෞද්ගලික බස් රථවලින් අතිබහුතරයක් එම සේවාවට බාධා සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය. එවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ බස් රථ කිහිපයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය.
මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ගැටලුවක් ලෙස නොසලකන බව පැවසූ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාවට අනුගතව කටයුතු කරන ලෙස පෞද්ගලික බස් රථ රියදුරන්ගෙන් සහ හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

