නියමිත බලපත්‍ර හා රෙගුලාසි උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වූ සඳලංකාව ඉරබඩගම ප්‍රදේශයේ ටින්මාළු නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක් අද (26) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.
වැටලීමේදී රුපියල් ලක්ෂ 18කට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාළු තොගයක් බලධාරීන් භාරයට ගෙන ඇති අතර, සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ඇසුරුම් කරමින් සිටි බවද අනාවරණය වී ඇත.
වැඩි ලාභයක් අපේක්ෂාවෙන් තරග විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වෙමින් කල් ඉකුත්වීමේ දින වෙනුවට ව්‍යාජ දින යොදා ටින්මාළු ඇසුරුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
එමෙන්ම, ටින්මාළු ඇසුරුම් සඳහා සූදානම් කර තිබූ දවටන, ඇසුරුම් ද්‍රව්‍ය සහ ව්‍යාජ දින මුද්‍රණය සඳහා භාවිත කළ යන්ත්‍ර ඇතුළු භාණ්ඩ රැසක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
මහජනතාව සහ වෙළෙඳපොළෙන් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි දිනයකදී කුළියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
ව්‍යාජ දින යොදා ටින්මාළු ඇසුරුම් කළ කර්මාන්ත ශාලාවක් වටලයි

