රජය විසින් නිවැරදි නොවන දත්ත පදනම් කරගනිමින් සිය ප්‍රතිපත්ති සකස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
අද (29) හම්බන්තොට, තිස්සමහාරාමයේ පැවති ගොවි හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එක් පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වීමට රුපියල් 17,315ක මුදලක් ප්‍රමාණවත් බව සඳහන් වුවද, එම මුදලින් වර්තමාන ජීවන වියදම හමුවේ පුද්ගලයෙකුට සැබෑවටම ජීවත් විය හැකිද යන්න ප්‍රශ්නයක් බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි දත්ත මත පදනම්ව රජය ප්‍රතිපත්ති සකස් කිරීම හේතුවෙන් ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික ගැටලු නිසි ලෙස හඳුනාගෙන නොමැති බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවගෙන් 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවත්, එම ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එමෙන්ම ජනතාව මුහුණ දෙන දුෂ්කරතා රජයට නිසි ලෙස අවබෝධ වී නොමැති බවටද ඔහු චෝදනා කළේය.
මේ අතර, අස්වැසුම ප්රතිලාභ වැඩසටහන කප්පාදු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

