Homeසියලුම පුවත්විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන්ට වෙළෙඳ නැව් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කිරීමට අවධානය

විශ්‍රාමික නාවික හමුදා සාමාජිකයන්ට වෙළෙඳ නැව් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කිරීමට අවධානය

විශ්‍රාමික සහ විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් ක්ෂේත්‍රයට අනුයුක්ත කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී නාවික හමුදා සාමාජිකයන්ට දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ නැව් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නිපුණතා සහතික ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ වෘත්තීය සුදුසුකම් ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට අවශ්‍ය පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ විශ්‍රාමික රණවිරුවන්ගේ කුසලතා වර්ධනය කර ඔවුන්ට වෘත්තීය සහතික ලබාදීම තුළින් තිරසාර ජීවනෝපාය මාර්ග සහ රැකියා අවස්ථා උදාකර දීමයි.
එමෙන්ම, ඉංජිනේරු, විදුලි හා ආහාර සැපයුම් අංශවල නාවික හමුදා සාමාජිකයන් සඳහාද වෙළෙඳ නැව් ක්ෂේත්‍රයේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
මෙම අවස්ථාවට නාවික හමුදාපති ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙළෙඳ නාවික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments