Homeසියලුම පුවත්විෂ වර්ග හා අන්තරායදායක ඖෂධ සංශෝධන පනත් කෙටුම්පත් දෙකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම්...

විෂ වර්ග හා අන්තරායදායක ඖෂධ සංශෝධන පනත් කෙටුම්පත් දෙකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙයි

විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා විසින් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ දැනුම් දෙමින් මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක්ව තිබූ 2026 අංක 79 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත (LDO 8/2026) සහ 2026 අංක 80 දරන එම නමින්ම ඉදිරිපත් කළ පනත් කෙටුම්පත (LDO 11/2026) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා ඇත.

ඒ අනුව, 2026 අංක 79 දරන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී නිශ්චිත සංශෝධන කිහිපයක් සිදුකිරීමේ කොන්දේසියට යටත්ව සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එම සංශෝධන යෝජිත 77අ(5) වගන්තියට අදාළ වන අතර, සැකකරුවකු අධිකරණය හමුවේ පෙනී සිටීම සහ අදාළ වාර්තා සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට භාරදෙන දිනය සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීම ඊට ඇතුළත් වේ.

මේ අතර, 2026 අංක 80 දරන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එම පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ තීරණ පාර්ලිමේන්තුවේ එදින නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments