Homeසියලුම පුවත්සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුයි - ජාතික සංවිධාන එකමුතුව

සලේට හානියක් වුණොත් ජනපති ප්‍රමුඛ ආණ්ඩුව වගකිවයුතුයි – ජාතික සංවිධාන එකමුතුව

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට තුන්වැනි වරටත් රැඳවුම් නියෝග ලබා නොදී වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ජාතික සංවිධාන එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
“සලේට යුක්තිය – සංවාද මණ්ඩපය” නමින් කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළහ.
සුරේෂ් සලේ මහතා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත්, එහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතු බවද ඔවුහු පැවසූහ.
නීතිඥ කල්‍යානන්ද තිරාණගම
ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතා සිදුකළ බව කියන නීති විරෝධී කටයුත්ත කුමක්ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.
ඔහු අත්අඩංගුවට ගැනීමටද කිසිදු පදනමක් නොමැති බවත්, පදනම් විරහිතව රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අනුරාධා යහම්පත්
සර්වජන බලයේ උපසභාපති අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ සුරේෂ් සලේ මහතා මේ වනවිට මාස හයක් පමණ අත්අඩංගුවේ පසුවන බවයි.
ඔහු ඉතා රෝගාතුර තත්ත්වයක පසුවන බවත්, ඔහු රෝගාතුර තත්ත්වයට පත්වන තෙක් ඉතා කෲර ලෙස සැලකූ බවට තමන් දන්නා බවත් ඇය පැවසුවාය.
තවදුරටත් අදහස් දැක්වූ ඇය,
“ඊළඟට විසිඅටවෙනිදා වෙනකොට තුන්වෙනි වරටත් ඔහුට බඳවා ගැනීමේ නියෝගය තවදුරටත් තිබෙනවාද නැද්ද කියන දේ, ජනාධිපතිතුමා තවදුරටත් රණවිරුවාගෙන් පළිගන්නා බවට ජනතාවට පෙන්වා දෙනවාද? එහෙම වුවොත් ජනතාවට ඔහුට වග කියන්නට සිදුවෙනවා.”
වසන්ත බණ්ඩාර
ජාතික සංවිධාන එකමුතුවේ වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ සුරේෂ් සලේ මහතා අසනීප තත්ත්වයක සිටියදී ඔහුට වධ බන්ධන සිදුකර ඔහු මියගියහොත් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් සමාවක් නොලැබෙන බවයි.
“ඒ නිසා අපේ ආණ්ඩුවට බල කරලා කියනවා විසිඅටවෙනිදට පෑන අතට ගන්න ලෑස්ති එපා. අනුර දිසානායක ජනාධිපතිතුමා වහාම මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන. මේ කුමන්ත්‍රණය තේරුම් අරගෙන ඔහුව නිදහස් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.”

RELATED ARTICLES

Most Popular

Recent Comments