Homeසියලුම පුවත්සිරගත වන භික්ෂූන්ගේ චීවරය සම්බන්ධ නීති සංශෝධන ගැන සංඝරත්නයෙන් යෝජනාවක්

සිරගත වන භික්ෂූන්ගේ චීවරය සම්බන්ධ නීති සංශෝධන ගැන සංඝරත්නයෙන් යෝජනාවක්

බන්ධනාගාරගත කෙරෙන බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ නිර්දේශ සඳහා මහා සංඝරත්නයේ අනුමැතිය හිමිව තිබේ.කෙසේ වෙතත්, එම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ පාර්ශ්ව 31ක හෝ සංඝ සභාවේ සාමාජිකයන් එක්ව සාකච්ඡා කර පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට යෝජනා වී ඇත.අද (20) බුද්ධශාසන අමාත්‍යාංශයේ “දහම්පය” පරිශ්‍රයේ පැවති බුද්ධශාසන සභා රැස්වීමේදී මෙම එකඟතාව පළවිය. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ.පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ගැටලු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා ලබාගැනීම සහ ඒ සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණක් විය.මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ සභාපති මෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා මෙහිදී කමිටු නිර්දේශ මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කළේය. එහිදී බන්ධනාගාර ආඥා පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කර තිබේ.බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේ නමක් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේදී හෝ වෙනත් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී චීවරය සහිතව රැගෙන යාම, අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත පමණක් සිදුකිරීමේ යෝජනාවක්ද මෙහිදී ඉදිරිපත් කර ඇත.කෙසේ වෙතත්, අදාළ නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්ව සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments