නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය සඳහා ප්රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවූ බවට පළවන චෝදනා සත්යයෙන් තොර බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී නැඟුණු ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනක යන්ත්රය නඩත්තු කටයුතු හේතුවෙන් පසුගිය ජූලි 30 වැනිදා සිට සැප්තැම්බර් 4 වැනිදා දක්වා දින 61ක කාලයක් වසා තැබූ බව ඔහු පැවසීය. එමෙන්ම සැප්තැම්බර් 4 වැනිදා සිට බලාගාරයේ භාවිත කරනු ලබන්නේ අලුතින් ගෙන්වන ලද ගල් අඟුරු බවද අමාත්යවරයා සඳහන් කළේය.ඒ අනුව, බලාගාරයේ ජනක යන්ත්ර අක්රිය වීම සහ විදුලි කප්පාදුව ගල් අඟුරුවල ප්රමිතිය සමඟ සම්බන්ධ කරමින් පළවන වාර්තා පිළිගත නොහැකි බව ඔහු ප්රකාශ කළේය.නොරොච්චෝලේ බලාගාරයේ ජනක යන්ත්ර විටින් විට අක්රිය වීම සිදුවන බවත්, පළමු ජනක යන්ත්රය බිඳවැටීමට හේතුව සොයා බැලීම සඳහා මේ වන විට අභ්යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.එමෙන්ම, හෙටින් පසුව බලාගාරයේ තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

