දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 7 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ කැඳවූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි අධිකරණය හමුවේ සටහන් කර ගන්නා ලදී.
ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 7 දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම නඩුව ගොනු කර ඇත්තේ, 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ සමයේ ගබඩා සංකීර්ණයක කාපට් කිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට ලබාදීමේදී එම සමාගමට වාසිදායක ලෙස කටයුතු කර දූෂණයක් සිදුකළ බවට චෝදනා කරමිනි.
මෙම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියටත් කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.

