රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී, විශේෂයෙන්ම දරුවන් සමඟ සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා තෝරාගන්නා පුද්ගලයින් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් නොවන බව තහවුරු කෙරෙන සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි.
ඒ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබාගත යුතු වේ. එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් ද සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ කාලපරාසය තුළ ළමා අපරාධ සම්බන්ධයෙන් තමන්ට චෝදනා නොමැති බව තහවුරු කෙරෙන සහතිකය අලුත් කර ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරිය පැවසුවාය.
රාජ්‍ය සේවයට ප්‍රවේශ වන පුද්ගලයින් අතරින් දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවල නිරත වන අය ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් නොවන බව තහවුරු කරගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බවද ඇය සඳහන් කළාය.
තවද රාජ්‍ය සේවයේ නිරතව සිටින පුද්ගලයින් සම්බන්ධයෙන්ද මෙම සහතිකය අඛණ්ඩව අලුත් කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

