Homeසියලුම පුවත්17 වැනිදා සිදුවූ රටම අඳුරේ හෙළූ විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට

17 වැනිදා සිදුවූ රටම අඳුරේ හෙළූ විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට

පසුගිය 17 වැනිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සකස් කළ මූලික විමර්ශන වාර්තාව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබේ.එම වාර්තාවට අනුව එදින පෙරවරු 11.43ට පමණ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් පද්ධතියට එක් කරමින් තිබූ මෙගාවොට් 187ක විදුලි ධාරිතාවක් මිලි තත්පර 450ක් ඇතුළත අහිමි වී ඇත.ඒ සමඟම විදුලි පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 48.75 දක්වා පහත වැටී ඇති අතර, සිදුවීම ආරම්භ වී තත්පර 4.1ක් ඇතුළත සමස්ත විදුලි පද්ධතියම බිඳවැටී ඇති බව වාර්තාවේ දැක්වේ.විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ස්වයංක්‍රීය විදුලි බර විසන්ධි කිරීමේ ක්‍රමවේදයේ (UFLS) අදියර පහම එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී තිබේ.ඒ අනුව මෙගාවොට් 449.2ක විදුලි ධාරිතාවක් විසන්ධි වී ඇති අතර, එය බිඳවැටීමට පෙර පැවති සමස්ත විදුලි ජනනයෙන් සියයට 39.6ක් බවද වාර්තාවේ සඳහන් වේ.බලාගාර කිහිපයක ජනන ඒකකත් අක්‍රීය වෙයිනොරොච්චෝලේ බලාගාරයට අමතරව වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, සමනලවැව සහ ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර කිහිපයක ජනන ඒකකද ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වීම හේතුවෙන් අක්‍රීය වී තිබේ.විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කඩිනම් පියවර ගෙන ඇති අතර, ඒ සඳහා මහවැලි, ලක්ෂපාන, සමනලවැව/දකුණු සහ කොළඹ යන ප්‍රධාන පද්ධති හතර භාවිත කර තිබේ.ඒ අනුව සියලුම ප්‍රධාන උපපොළවල් පස්වරු 4.58 වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර, සමස්ත සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට ගෙන ඒමට පැය 5යි මිනිත්තු 15ක කාලයක් ගතවී ඇත.විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේදීත් ගැටලුමේ අතර විදුලි පද්ධතිය නැවත ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් බලාගාරවල තාක්ෂණික දෝෂ සහ මෙහෙයුම් ප්‍රමාදයන් මතුව ඇති බවද වාර්තාවේ සඳහන් වේ.විශේෂයෙන් යුගදනවි බලාගාරයේ ජනන ඒකකයක් නැවත ක්‍රියාත්මක කිරීමේදී එහි උපකාරක පද්ධතියක ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රමාදයක් සිදුව තිබේ.කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන ඒකකයෙන් මෙගාවොට් 187ක විදුලි ධාරිතාව හදිසියේ අහිමිවීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු කර නොමැත.ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments