Homeසියලුම පුවත්22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද යළි ඇරඹේ

22ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද යළි ඇරඹේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද (02) යළි ආරම්භ කිරීමට නියමිතය.

ඊයේ (01) පෙරවරු 10ට පමණ පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අතර, එය රාත්‍රී 10.30 පමණ දක්වා පැවති බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

අද දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර කරුණු දැක්වීම් මෙන්ම අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන කරුණු සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ විය.

අදාළ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පෙත්සම් සලකා බැලීම ආරම්භයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙසයි.

මෙම පනත් කෙටුම්පත අධිකරණයේ ස්වාධීනත්වයට සෘජුව බලපාන බවත්, එමඟින් අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වීමක් සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන් ඇතිවිය හැකි ලබැඳියාවන් අතර ගැටුම සලකා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

අනතුරුව පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරුන් ද එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වූහ.

කෙසේ වෙතත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමේ අභිමතය අගවිනිසුරුවරයා සතු බවයි.

විනිසුරු මඩුල්ලේ සංයුතිය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම අගවිනිසුරුවරයා වෙත පැවරී ඇති අතර, ඊට බාහිර පාර්ශ්වයකට මැදිහත් විය නොහැකි බවද සොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල එම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව නම් කර තිබූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම ඉදිරියට ගෙන යන ලදී.

එහිදී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා තවදුරටත් කරුණු ඉදිරිපත් කළ අතර, පෙත්සම්කාර මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද කරුණු දැක්වීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් පැවතීම පමණක් හේතුවෙන් ආණ්ඩුවකට විනිසුරුවරුන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති පරිසරයට බලපෑම් කිරීමට හැකියාවක් නොමැති බව අලි සබ්රි මහතා සඳහන් කළේය.

තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ, යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් විධිවිධාන මඟින් මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇතිවන බවයි.

තමන්ටම බලපාන කරුණක් සම්බන්ධයෙන් විනිසුරුවරයෙකු විසින්ම තීරණයක් ලබාදීම නීතියේ මූලික මූලධර්මයකට පටහැනි බව පෙන්වා දුන් ඔහු, පනත් කෙටුම්පත මඟින් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑමක් ඇතිවන බැවින් එය මෙම විනිසුරු මඩුල්ල විසින් සලකා බැලීම සුදුසු නොවන බවද ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයක් යටතේ මීළඟ විකල්පය ලෙස ජනමත විචාරණයක් පවත්වා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනතාවට භාරදිය යුතු බවද ශ්‍රීනාත් පෙරේරා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments