යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් බලවේග එක්ව ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබේ.
මෙරට ප්රජාතන්ත්රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශයට අත්සන් තැබූ බව ඔවුහු සඳහන් කළහ.
වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් එල්ල වන බවට ඔවුහු චෝදනා කරති.
එමෙන්ම වසර 80කට ආසන්න කාලයක් ආරක්ෂා කර ඇති නියෝජිත ප්රජාතන්ත්රවාදය අහෝසිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවටද ඔවුහු අදහස් පළ කළහ.
ඒ අනුව යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් එක්සත් සාමූහිකයක් ලෙස පෙළගැසෙමින් මෙම ප්‍රකාශයට අත්සන් තැබූ බව ඔවුහු සඳහන් කළහ.
නීතිඥ සාගර කාරියවසම්, දුමින්ද දිසානායක, සංජීව එදිරිමාන්න, ඩිලාන් පෙරේරා, රවී කරුණානායක, මුජිබුර් රහුමාන්, අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, එම්.ඒ. සුමන්දිරන්, ජී.එල්. පීරිස්, රාජිත සේනාරත්න, නිමල් සිරිපාල ද සිල්වා, සමන් රත්නප්‍රිය, මෛත්‍රි ගුණරත්න, වජිර අබේවර්ධන සහ රවී කුමුදේශ් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.

