වසර 25කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි.
අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
මෙම සංශෝධන සඳහා පසුගිය 29 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති අතර, ගැසට් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික පාරිසරික පනත, වර්තමාන තාක්ෂණික ප්‍රවණතා, පරිසර දූෂණයේ පවතින තත්ත්වය සහ ජන ජීවිතයේ සිදුවී ඇති වෙනස්වීම් සළකා බලමින් යාවත්කාලීන කරන බව අමාත්‍යවරයා පැවසීය.
මෙතෙක් පනතට ඇතුළත් නොවූ රසායනික දූෂණය පාලනය කිරීම, උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීම, භූගත ජල දූෂණය සහ ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා නව ප්‍රතිපාදන මෙම සංශෝධන මඟින් හඳුන්වා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබාදීමේදී උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්‍රමවේදයක් හඳුන්වා දීම, පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන සම්බන්ධයෙන් නිෂ්පාදකයා වගකීම භාරගත යුතුය යන සංකල්පය පනතට එක් කිරීමද මෙහි විශේෂත්වයකි.
තෙත්බිම් ආරක්ෂා කිරීම, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ කළමනාකරණය පුළුල් කිරීම, ජල දූෂණය වැළැක්වීම සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව බලතල ලබාදීම ද මෙම සංශෝධන මඟින් සිදුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පනත් සංශෝධනය සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජිතයන්ගේ අදහස් ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතුද සිදු කර ඇති බවද ඔහු අවධාරණය කළේය.

