බෙල්ලන්විල ප්රදේශයේ ඊයේ (25) රාත්රියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, වෙඩික්කරු සහ ඔහු පැමිණි යතුරුපැදියේ රියදුරු නවගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු වන අතර, මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි සොරකම් කළ බව කියන සිද්ධියකටද ඔහු සම්බන්ධ සැකකරුවෙකු බවයි.
ඊයේ රාත්රී 7.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බෙල්ලන්විල ඇවිදින මංතීරුව අසල අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර වෙඩි ප්රහාරය එල්ල කර පලාගොස් තිබුණි.
බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර, ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන “කොස් මල්ලී”ගේ ඥාතියෙකු බවට තොරතුරු වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සිදුකළ විමර්ශනවල ප්රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.
බෙල්ලන්විල වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

