Homeසියලුම පුවත්රටේ ලොකුම ප්‍රශ්නේ මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම - සජිත්

රටේ ලොකුම ප්‍රශ්නේ මේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම – සජිත්

විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීම අද වන විට බොහෝ දෙනා කතා කරන ගැටලුවක් වී ඇති බවත්, මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොහොර සහනාධාරය, වාරි පුනරුත්ථාපනය සහ සිරගෙවල්වල ගැටලු විසඳීම වෙනුවට මේ වනවිට රටේ ලොකුම ජාතික ප්‍රමුඛතාව වී ඇත්තේ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීම බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (09) රුවන්වැල්ල ප්‍රදේශයේ කන්නන්තොට රොෂානා ශාලාවේදී පැවැති සමගි වනිතා බල මණ්ඩලයේ රුවන්වැල්ල ශාඛාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ දැමීමෙන් ජනතාවගේ ගැටලු විසඳීම, දුප්පත්කම තුරන් වීම හෝ විරැකියා ගැටලුවට විසඳුම් නොලැබෙන බවත්, මේ තුළින් රජය අපේක්ෂා කළ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් නිර්මාණය වීම වෙනුවට තනි පක්ෂයක් මුළු රටම පාලනය කරන වැඩපිළිවෙළක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ හරහා තනි පක්ෂ පාලනයක් ඇති වී ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටී, අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බිඳ වැටෙන බවය.

එක් පක්ෂයක් තමන්ගේ රාජ්‍යයම ග්‍රහණයට ගැනීමේ එක් පියවරක් වන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම බවත්, පසුගිය කාලයේ යෞවන සමාජ සහ සිවිල් ආරක්ෂක කමිටුවලට පවා පැලවත්තේ පක්ෂ කාර්යාලය අනුව තනතුරු පත් කළ බවත් එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ව්‍යාපෘතියක් දියත් කළ මෙම රජය මේ වනවිට අධිකරණයට පවා බලපෑම් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කාන්තාවන්ගේ, දරුවන්ගේ, පුරවැසියන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට හැකියාව තිබුණත් ඒ කිසිවක් රජය සිදු නොකළ බවත්, දැනට මූලික අයිතිවාසිකම්වලට අයත් නොවන කාන්තා, ළමා, වැඩිහිටි සහ අවදානම් පාර්ශ්වයන්ගේ අයිතිය මූලික අයිතිවාසිකමක් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුවට ජන වරම ලැබුණේ අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට නොව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ඇති කිරීමට බවත්, මැතිවරණ සමයේ පැවසූ පොරොන්දු ඉටු කිරීමට රජය කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය.

දැන් රජය කරන්නේ බොරු කියමින් ප්‍රශ්න යට ගැසීම බවත්, රටේ 30%-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් වී ඇති බවත්, රෝහල්වල ඖෂධ නොමැති බවත්, ඒවා පෞද්ගලික ෆාමසිවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙවැනි ගැටලු තිබියදී රජය කරන්නේ තම පක්ෂයේ ඒකාධිකාරය රටේ ස්ථාපිත කිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments