Homeසියලුම පුවත්අම්බලන්තොට ගොවි විරෝධය උණුසුම් වෙයි

අම්බලන්තොට ගොවි විරෝධය උණුසුම් වෙයි

ගොවීන්ට එල්ල වන බලපෑම් සහ තර්ජන හමුවේ සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවිතැනින් ඈත්වීමට සිදුව ඇති බව පවසමින් අද (10) අම්බලන්තොට නගරයේ පැවති ගොවි විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා තවත් ගොවි සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටියහ.

ගොවීහු වී සඳහා සාධාරණ මිලක් ලබාදීම, කෘෂිකර්මාන්තයට අවශ්‍ය යෙදවුම්වල මිල අඩු කිරීම සහ ගොවීන්ට විවිධ නම්වලින් අපහාස කිරීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් ඉදිරිපත් කළහ.

එමෙන්ම, නිෂ්පාදන වියදමට සරිලන පරිදි වී කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මිලකට හෝ රජය විසින් මිලදී ගන්නා ලෙසද ගොවීහු ඉල්ලා සිටියහ.

විරෝධතාව හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට තරමක බාධා එල්ල වූ අතර, පොලීසිය මැදිහත්වී විරෝධතාකරුවන් මාර්ගයෙන් පසෙකට කර තත්ත්වය පාලනය කර තිබේ.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ගොවීන් සමඟ බහින්බස්වීමක් ඇති කරගෙන ඔවුන්ගේ අදහස් දැක්වීමට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

පසුව එම බහින්බස්වීම දුරදිග යාමෙන් තල්ලු කිරීම් සහ පහරදීමක්ද සිදුවූ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කළහ.

පොලීසිය මැදිහත්වීමෙන් පසුව තත්ත්වය පාලනය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments