
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඊයේ (23) වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති එම ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ, තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය සහ පවුල සමඟ ගත කළ හැකි වටිනා වසර කැප කළ බවය.
වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටීම දැකීම දැඩි වේදනාවක් බවද ඇය එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවත්, චෝදනා තිබේ නම් ඒවා පරීක්ෂා කර සාක්ෂි ඇත්නම් ඒවා විමර්ශනය කර සත්‍යය සොයාගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටී.
එහෙත් පරීක්ෂණ සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කර ඇත.
විමර්ශන සාක්ෂි මත සිදු විය යුතු අතර, රැඳවුම සාක්ෂිවලට ආදේශයක් නොවිය යුතු බවද ඇය සිය ලිපියේ අවධාරණය කර තිබේ.
එමෙන්ම, තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා ඇති සුරේෂ් සලේ මහතාගේ මව, විශේෂ වරප්‍රසාදයක් නොව යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාවක් පමණක් තමන් අපේක්ෂා කරන බවද පවසා තිබේ.
අවසානයේ ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම පුතුට නිදහසේ නීතිය ඉදිරියේ මුහුණ දීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

