සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිඳු මල්සිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට එරෙහිව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති නඩු දෙකකට අදාළ ගොනු දෙකක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සේවකයන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතා සඳහන් කළේ, ප්‍රකාශ ලබාගත් පිරිස අතර කාන්තා නිලධාරිනියන් 7 දෙනෙකුද සිටින බවයි.
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය 1 වැනිදා පානදුර දකුණ මූලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.
ඒ අනුව ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
අතුරුදන්ව ඇත්තේ ‘කුඩු සලිඳු’ගේ මෙහෙයවීම මත පානදුර උතුර ප්‍රදේශයේ සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතනයකට අදාළ නඩු ගොනුවක් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා තිබූ නඩුවකට අදාළ ගොනුවක් බව සඳහන් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් පසුගිය 28 වැනිදා කැඳවා තිබූ නඩුවකට අදාළ වාර්තාව සොයාගැනීමට නොහැකිවීම හේතුවෙන්, උපගොනුවක් මගින් එම නඩුව 31 වැනිදා යළි කැඳවීමට කල් තබා තිබේ.
පසුව සිදුකළ සොයාබැලීමේදී අදාළ නඩු ගොනු දෙක අස්ථානගතව ඇති බව අනාවරණය වී ඇත.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, නඩු ගොනුවල පිටපත් ලබාගැනීම සඳහා කාර්යාල කාර්ය සහායකවරයෙකු වෙත ලබාදී ලේඛනාගාරගත කර තිබියදී ඒවා අතුරුදන්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ සංකීර්ණයේ සවිකර ඇති CCTV කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට නියමිතය.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් මත, පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් සහ පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාඋල්ලගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

