මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මරණීය දණ්ඩනය නියමව පසුව නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
මීට අමතරව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝබර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගල ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබුණි.
කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බව පවසමින් එය බලරහිත කර දඬුවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිද්ධියෙන් අගතියට පත්වූ පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම අද (04) අගවිනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අතර, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබේ.

