Homeසියලුම පුවත්වහල මත සූර්ය පැනලවලින් විදුලි උත්පාදනයේ සැලකිය යුතු වර්ධනයක්

වහල මත සූර්ය පැනලවලින් විදුලි උත්පාදනයේ සැලකිය යුතු වර්ධනයක්

2027-2029 කාලය තුළ සූර්ය බලය, සුළං බලය සහ බැටරි බලය මගින් ගිගාවෝට් 2,700කට අධික ධාරිතාවක් විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම කාලය තුළ සූර්ය බලයෙන් ගිගාවෝට් 1,392ක්, සුළං බලයෙන් ගිගාවෝට් 370ක් සහ බැටරි බලයෙන් ගිගාවෝට් 1,000ක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, වහල මත සවිකර ඇති සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය පසුගිය කාලය තුළ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට වහල මත සවිකර ඇති සූර්ය පැනල මගින් ගිගාවෝට් 2,500ක පමණ විදුලි ධාරිතාවක් ජනනය වන බවද ඔහු පැවසීය.

විදුලි උත්පාදනයේදී ඇතැම් අවස්ථාවල අතිරික්තයක් ඇතිවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන් ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී අතිරික්ත විදුලි ජනනයක් සිදුවන බවද සඳහන් කළේය.

එබැවින් විදුලිබල පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල සූර්ය බලයෙන් උත්පාදනය කරන විදුලිය සීමා කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, බැටරි බලශක්ති පද්ධති හඳුන්වාදීමත් සමඟ දිවා කාලයේදී අතිරික්තව ජනනය වන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී පද්ධතියට එක් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments