දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට දුම්රිය එන්ජින් 98ක් පැවතියද, ධාවන කටයුතු සඳහා යොදාගත හැකිව ඇත්තේ එයින් 50ක් පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවට අනුව දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා දුම්රිය එන්ජින් 74ක් අවශ්‍ය වන අතර, 2024 වසරේදී ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක් පැවති බවද සඳහන් වේ.
මේ අතර, වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල 242ක් සංචිතයේ පැවතියද, මේ වන විට ධාවනයට එක් කළ හැකිව ඇත්තේ 118ක් පමණක් බව වාර්තාව පෙන්වා දෙයි. සාමාන්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා බලවේග කට්ටල 193ක් අවශ්‍ය බවද සඳහන් වේ.
2024 වසරේදී බලවේග කට්ටල 258ක් සංචිතයේ පැවති අතර, එම කාලයේ ධාවනයට එක්කර තිබූ සංඛ්‍යාව 148කි.
මේ අතර දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවයි. එමෙන්ම ඇතැම් එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම්ද ඉහළ ගොස් ඇති බව ඔවුහු පෙන්වා දෙති.
දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් වෘත්තීය සමිති කිහිපයක් අවස්ථා ගණනාවකදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කළද, ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවද වෘත්තීය සමිති පවසයි.
මෙම තත්ත්වය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් ලබන 17 වනදා වෘත්තීය සමිති 27ක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එම වැඩ වර්ජනයට තම සංගමයද සහය දක්වන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි.
එහි ලේකම් අනිල් කුමාර නවරත්න මහතා සඳහන් කළේ තම සාමාජිකයින් මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළද, මේ වන තෙක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම අවස්ථාව ලබාදී නොමැති බවයි.
ඒ අනුව ලබන 17 වනදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තම සංගමයද එක්වන බව ඔහු සඳහන් කළේය.
මේ අතර, වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාව අද පස්වරු 3.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

