මත්ද්‍රව්‍ය භාවිත කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරන පරීක්ෂණ තීව්‍ර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දිවයින පුරා සියලුම රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.
දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු විශ්ලේෂණය කිරීමේදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අන්තරායකාරී හා අපරික්ෂාකාරී රිය පැදවීම මෙන්ම අධික වෙහෙස අනතුරුවලට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමටද පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එමෙන්ම යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරගකාරී ලෙස, අවිනීත ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන්නේ නම්, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ සඳහා වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන ආකාරයට වීඩියෝ පටයක් 070 47 55 600 යන WhatsApp අංකයට යොමු කරන ලෙස දැනුම්දී තිබේ.
එලෙස ලැබෙන තොරතුරු මත අදාළ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.
මාරක සහ බරපතළ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ඉදිරියේදී බීමත්ව රිය පැදවීම සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් දැඩි කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

