බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් මෙම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව දැනුම්දී තිබේ.
ඊයේ (14) උදෑසන 8.30 සිට අද (15) අලුයම 3.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මි.මී. 146.5කි.
මේ අතර මීගමුව සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැයට කිලෝමීටර් 25-35ක පමණ වේගයකින් හමා යා හැකිය. කොළඹ සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකිය.
එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සමඟ ඉතා රළු තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

