Homeසියලුම පුවත්විල්පත්තු මායිමේ කුඹුක් ගස් ගිනි ගැනීම ගැන විමර්ශන වාර්තාවක් කැඳවයි

විල්පත්තු මායිමේ කුඹුක් ගස් ගිනි ගැනීම ගැන විමර්ශන වාර්තාවක් කැඳවයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිම් කලාපයට අයත් වනාතවිල්ලුව, පරණ එළුවක්කුලම නෙළුම් වැව පරිශ්‍රයේ කුඹුක් ගස් ගිනි ගැනීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර කඩිනමින් විමර්ශන වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.

අතිශය සංවේදී පරිසර පද්ධතියක පිහිටි ජල මූලාශ්‍ර ආරක්ෂා කරන ස්වභාවික වෘක්ෂලතා විනාශ වීම සමස්ත පරිසර පද්ධතියටම බරපතළ තර්ජනයක් බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙම සිදුවීම කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හෝ පරිසර සංහාරයක් බවට අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව යටතේ උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

වනජීවි හා වන සංරක්ෂණ ආඥාපනත් සහ ජාතික පාරිසරික පනතේ විධිවිධාන අනුව මෙරට සංවේදී පරිසර කලාප හා ජල පෝෂක ප්‍රදේශ විනාශ කරන ඕනෑම ක්‍රියාවකට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර, සිදුවීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ එක්ව අද (18) එම ස්ථානයේ ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments