Homeසියලුම පුවත්ප්‍රමිතියට නොගැළපෙන බෝතල් 1,400කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට

ප්‍රමිතියට නොගැළපෙන බෝතල් 1,400කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා සිදුකළ විශේෂ විමර්ශන වැඩසටහනකදී නීතිමය ප්‍රමිතීන්ට අනුකූල නොවන ප්ලාස්ටික් බෝතල් සහ ළදරු කිරි බෝතල් 1,400කට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබේ.

පසුගිය සතිය තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී පරීක්ෂා කිරීම් 144ක් සිදුකර ඇති අතර, නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සම්බන්ධ වැටලීම් 96ක් සහ ළදරු කිරි බෝතල් සම්බන්ධ වැටලීම් 48ක් ඊට ඇතුළත් වේ.

2025 ඔක්තෝබර් 01 දිනැති අංක 2456/42 අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ විධාන අංක 96 අනුව, 2026 අප්‍රේල් 01 වනදා සිට නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතියත්, පොලිමර් ද්‍රව්‍යවලින් නිෂ්පාදිත ළදරු කිරි බෝතල් සඳහා SLS 1306 ප්‍රමිතියත් අදාළ වේ.

දේශීයව නිෂ්පාදනය කරන අදාළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කරන SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත.

කෙසේවෙතත්, ආනයනික නිෂ්පාදන සඳහා SLS ලාංඡනය අනිවාර්ය නොවන අතර, ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ පරීක්ෂා කර අලෙවිය සඳහා අනුමත කර තිබිය යුතුය.

විධාන අංක 83 යටතේ බිල්පත් සහ ඉන්වොයිසි පරීක්ෂා කරමින් අදාළ භාණ්ඩවල මූලාශ්‍රය හඳුනාගැනීමට කටයුතු කර ඇති අතර, වෙළෙන්දාගේ සිට ආනයනකරු හෝ නිෂ්පාදකයා දක්වා සමස්ත සැපයුම් දාමය ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකරයි.

දේශීයව නිෂ්පාදිත භාණ්ඩ මිලදී ගැනීමේදී SLS ලාංඡනය පරීක්ෂා කරන ලෙසත්, ආනයනික භාණ්ඩයක SLS ලාංඡනය නොමැති පමණින් එය නීති විරෝධී බවට නිගමනය නොකරන ලෙසත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

සැකකටයුතු භාණ්ඩ සම්බන්ධ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබාදිය හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments