පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීම බරපතළ වරදක් බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.
අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති තීන්දුව පිළිබඳව ගැටලුවක් නොමැති බවත්, එම තීන්දුවට ගරු කරන බවත්ය.
කෙසේ වෙතත්, බන්ධනාගාරගත කිරීමෙන් පසු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීම බන්ධනාගාර ආඥා පනතට අනුව නීතිමය වශයෙන් ගැටලුකාරී බව තමන්ට පෙනී යන බව උන්වහන්සේ පැවසූහ.
බන්ධනාගාරයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පෙර භාවිත කළ ඇඳුමින් ඉදිරිපත් කළ යුතු බවද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ සඳහන් කළහ.
මෙම ක්‍රියාමාර්ගය ශාසනික වශයෙන් නරක පූර්වාදර්ශයක් බවත්, ඒ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එළඹෙන බවත් උන්වහන්සේ පැවසූහ.
ඥානසාර හිමියන් යළි පැවිදි කිරීම අවශ්‍ය බව සාකච්ඡාවලදී තීරණය වුවහොත් ඒ සඳහාද මහා සංඝරත්නය මැදිහත් වනු ඇති බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

