Homeසියලුම පුවත්නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ විෂයමාලා, ඇගයීම් සහ ඩිජිටල් වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ විෂයමාලා, ඇගයීම් සහ ඩිජිටල් වැඩපිළිවෙළට කැබිනට් අනුමැතිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ ප්‍රතිපත්ති සහ යෝජනා රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සකස් කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවටත්, ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුවටත්, 1 සිට 11 ශ්‍රේණි දක්වා ශිෂ්‍ය ඇගයීම් රාමුවටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ වනවිට සකස් කරමින් පවතී.

ජාතික අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා වන වාර්තාවටද අනුමැතිය ලැබී ඇති අතර, ඊට අදාළ කෙටුම්පත් සකස් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කමිටුවක් පත් කිරීමට නියමිතය.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර, එය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් විය. පාසල් අධ්‍යාපනයේ ඩිජිටල් සංවර්ධනය සඳහා වසර පහකදී රුපියල් බිලියන 96ක් වැය කෙරෙන ව්‍යාපෘති යෝජනාවකට ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.

උසස් පෙළ අවසන් කරන සිසුන්ට විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා එකම පද්ධතියක් හරහා අයදුම් කළ හැකි ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටද අදාළ ආයතනවලට උපදෙස් දී ඇත. එය 2028 වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මේ අතර, උසස් අධ්‍යාපනයේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකර්ම ක්ෂේත්‍ර සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය. රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීම සම්බන්ධ නව ප්‍රතිපත්තියටද අනුමැතිය හිමිව ඇති බව ඔහු පැවසීය.

සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් ශ්‍රේණි කාණ්ඩ පහක් සඳහා මාර්ගෝපදේශ සකස් කර ඇති අතර, එහි නියමු ව්‍යාපෘතිය නොවැම්බර් මාසයේදී ආරම්භ කර පූර්ණ ක්‍රියාත්මක කිරීම ලබන වසරේ මුලදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

වෘත්තීය අධ්‍යාපනය රැකියා වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස යාවත්කාලීන කිරීම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය සහ කර්මාන්ත ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත. ගුරු බඳවා ගැනීම්, ස්ථාන මාරු ක්‍රමවත් කිරීම, පාසල් සනීපාරක්ෂාව, සිසුන්ගේ පෝෂණය සහ සෞඛ්‍යය වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු රැසක්ද මෙහිදී අවධානයට ලක්ව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments