මහරගම අපේක්ෂා රෝහලේ මෙහෙයුම් කටයුතු, රෝගී සත්කාර සේවාවන්හි ගුණාත්මකභාවය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රෝහලේ පාලන කටයුතු විධිමත් කිරීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ රෝගීන්ට අඛණ්ඩ ප්‍රතිකාර සේවාවක් සැපයීම සඳහා අවධානය යොමු කළ මෙම රැස්වීමේදී රෝහලේ ප්‍රගතිය මෙන්ම කඩිනමින් විසඳුම් අවශ්‍ය ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
රෝහල් පරිශ්‍රයේ ඉඩකඩ උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සහාය ඇතිව දිගුකාලීන අවශ්‍යතාවලට ගැළපෙන නව ප්‍රධාන සැලසුමක් සකස් කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත. එමෙන්ම නව ළමා වාට්ටු සංකීර්ණය ඇතුළු සායනික ගොඩනැගිලිවල ඉදිකිරීම් කඩිනම් කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබේ.
විකිරණ ප්‍රතිකාර අංශයේ පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා CT සිමියුලේටර් පහසුකම් සම්පූර්ණ කිරීම සහ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය යටතේ ලැබීමට නියමිත නව LINAC යන්ත්‍ර සඳහා අවශ්‍ය බංකර් ඉදිකිරීම් කඩිනම් කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා කර ඇත.
සායන සහ වාට්ටු සඳහා අවශ්‍ය ඖෂධ හා ශල්‍ය උපකරණ අඛණ්ඩව සැපයීම, වෛද්‍ය සැපයුම් අංශය සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ඖෂධ හිඟයට අදාළ ගැටලු විසඳීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, ඖෂධවේදීන් සහ සෞඛ්‍ය කාර්ය සහායකයන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ක්‍රමානුකූලව කාර්ය මණ්ඩලය ලබාදීමට සැලසුම් කර ඇති බවද සඳහන් විය. එළඹෙන සති අන්තයේ සිදුකිරීමට නියමිත සෞඛ්‍ය කාර්ය සහායක නව පත්වීම්වලින් කොටසක් අපේක්ෂා රෝහලට ලබාදීමටද නියමිතය.
මීට අමතරව වායු සමීකරණ පද්ධති, වෛද්‍ය උපකරණ, ඩිජිටල්කරණය, අන්තර්ජාල සේවා සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
රෝහලේ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂම හා විධිමත් කරමින් ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

