Homeසියලුම පුවත්මරණ දඬුවමට නියම වූ අනෝජන්ගේ සුවදුක් සොයා ශ්‍රී ලංකා තානාපති දම්මාම් බන්ධනාගාරයට

මරණ දඬුවමට නියම වූ අනෝජන්ගේ සුවදුක් සොයා ශ්‍රී ලංකා තානාපති දම්මාම් බන්ධනාගාරයට

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයට ගොස් තිබේ.

රියාද් අගනුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි එම බන්ධනාගාරයේදී තානාපතිවරයා අනෝජන් හමුවී ඔහුගේ වත්මන් තත්ත්වය සහ සුබසාධනය පිළිබඳව සොයා බලා ඇත.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත්තේ, මෙම හමුවේදී තානාපතිවරයා අනෝජන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් ඔහුගේ අවශ්‍යතා සහ මුහුණ දී සිටින ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කළ බවය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ අනෝජන්ට අවශ්‍ය කොන්සියුලර් සහ නෛතික සහාය ලබාදීමට තානාපති කාර්යාලය කටයුතු කරන බවද තානාපතිවරයා යළිත් සහතික වී තිබේ.

ඉදිරියේදී සෘජුව සම්බන්ධ වීම පහසු කිරීම සඳහා තානාපතිවරයාගේ පෞද්ගලික සම්බන්ධතා තොරතුරුද අනෝජන් වෙත ලබාදී ඇත.

මෙම හමුවෙන් අනතුරුව අනෝජන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

තානාපතිවරයා මෙම සංචාරය අතරතුර දම්මාම් මධ්‍යම බන්ධනාගාර අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා සමඟද සාකච්ඡා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments