සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. නව රෙගුලාසි අනුව, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශ මත භික්ෂූන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට අවස්ථාව සැලසෙනු ඇත.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීමෙන් පසු, බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳව මහනායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබිණි. ඒ අනුව, පසුගිය 08 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ 1877 බන්ධනාගාර ආඥා පනත සහ ඒ යටතේ පවතින රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙනම විශේෂ විධිවිධාන නොමැති බවයි. පවතින නීතිය අභිභවා පුද්ගලයන් වෙනුවෙන් විශේෂ නියෝග නිකුත් කිරීම වෙනුවට, නීතිය කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම අවශ්‍ය බවද ඔහු සඳහන් කර තිබේ.
අධිකරණයකින් වරදකරු කර වසර තුනකට වැඩි කාලයක් සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන්, උන්වහන්සේ අයත් නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කර එහි නිර්දේශ මත කටයුතු කිරීමට අදාළ රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය යෝජනා කර ඇත. එමගින් අදාළ සහනය අවභාවිත කිරීම වැළැක්විය හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.
ඒ අනුව, බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පසුගිය 08 වැනිදා පත් කර තිබේ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
කමිටුවේ පළමු රැස්වීම පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දී තිබේ.
කමිටුව සති දෙකක් ඇතුළත අධ්‍යයනය අවසන් කර සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. භික්ෂූන් වහන්සේලාට අදාළ යෝජනා පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා එම යෝජනා ලබන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

