වටිනා තෑගි පාර්සලයක් ලබාදෙන බව පවසමින් වට්ස්ඇප් සමූහයක් හරහා රුපියල් 1,455,000ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මේ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර, එහිදී සැකකාරියගේ බැංකු ගිණුමට මුදල් බැර කරවාගෙන මෙම වංචාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත.ඒ අනුව ඊයේ (30) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේදී අදාළ සැකකාරිය විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් කාන්තාව 46 හැවිරිදි නුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරයි.සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

