රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්යග්රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.ඒ අනුව, නොවැම්බර් 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (17) නියෝග කළේය.මෙම ගැටුම සම්බන්ධයෙන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් දෙදෙනෙකු මෝසමක් ඉදිරිපත් කර තිබුණි.එම මෝසම සලකා බැලීමේදී නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමියන් ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද පොලිසිය එසේ කටයුතු කර නොමැති බවයි.එසේම, ගැටුම වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබියදීත් ඒ සඳහා පියවර ගෙන නොමැති බවටද නීතිඥවරුන් චෝදනා කර තිබේ.සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳවද සැකයක් මතුවන බව ඔවුන් අධිකරණයට පෙන්වා දී ඇත.කෙසේ වෙතත්, සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

