මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන ‘DJ චතු’ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය විසින් ඊයේ (25) සවස වටලා තිබේ.
එහිදී හෙරොයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක්, මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි, ඒ සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබූ විශේෂ කඩදාසි තොගයක් සහ කඩදාසි කපන යන්ත්‍රයක් සොයාගෙන ඇත.
එමෙන්ම නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතියට අදාළ මතක කාඩ්පත්, ජංගම දුරකථන 3ක් සහ රන් පැහැති ආභරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
නිවස කුලියට ලබාගෙන තිබුණද නිරන්තරයෙන් වසා තැබීම සැකකටයුතු බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදුකර ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පොලීසිය හඳුන්වන ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ ජාවාරම විදේශගතව මෙහෙයවන ‘රන්දික’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැලකෙන ‘DJ චතු’ නමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස රුපියල් 70,000ක මාසික කුලියකට ලබාගෙන පදිංචිව සිට ඇති බවය.
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව නිවස පරීක්ෂා කර තිබේ.
නිවසේ එක් කාමරයක විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශගත පුද්ගලයන් සමග සෘජුව සම්බන්ධ විය හැකි ආකාරයේ සන්නිවේදන උපකරණ සවිකර තිබූ බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
තෙමහල් නිවසේ පහළ මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන රැසක නිවසේ ඇතුළත හා පිටත නිරීක්ෂණය කළ හැකි පරිදි CCTV කැමරා සවිකර තිබූ අතර, ජංගම දුරකථන මගින් ඒවා අධීක්ෂණය කළ හැකි ආකාරයට පද්ධතිය සකස් කර තිබූ බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
පොලිස් භාරයට ගත් රන් පැහැති ආභරණ පරීක්ෂා කිරීමේදී ඒවා රන් භාණ්ඩ නොවන බව අනාවරණය වීමෙන් පසු, ඒවා ‘DJ චතු’ නමැත්තාගේ මව වෙත භාරදීමට කටයුතු කර ඇත.
මේ අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

