බන්ධනාගාර තුළ ඇති වූ ගැටුම් සහ නොසන්සුන්කාරී සිදුවීම්වලට බලපා ඇති හේතු කිහිපයක් මේ වනවිට හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, හඳුනාගත් කරුණු අනුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදුකරන බවත්ය.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 1,500කට වැඩි පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ. එම සිදුවීමේදී සිදුවූ ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයින් 61 දෙනෙකු චූදිතයන් ලෙස නම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයටද මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබේ.
මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 925 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, කුරුවිට බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳවද විමර්ශන හා ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරමින් පවතී.
මෙම සිදුවීම් අතර අන්තර් සම්බන්ධතාවක් තිබේද යන්න මෙන්ම බාහිර පාර්ශ්වයක මැදිහත්වීමක් සිදුවී තිබේද යන්න පිළිබඳවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

