අගෝස්තු මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (04) ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
අද දිනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප් නිශ්චය කිරීම පිළිබඳ විවාද පැවැත්වීමට නියමිතය.
හෙට (05) සයිබර් වංචාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය ගෙනඑන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වේ.
බ්‍රහස්පතින්දා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත අතර, සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 7ක් විවාදයට ගැනීමටද සැලසුම් කර තිබේ.
මේ අතර අධිකරණ ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂය අද කථානායකවරයාට යෝජනාවක් භාරදීමට නියමිතය.

