ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් පිරවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත තවත් ලිපියක් යොමු කර තිබේ.
එම ලිපියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු හතරක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් දීර්ඝ කාලයක් තිස්සේ පවතින බව පෙන්වා දී ඇති අතර, ඒවා කඩිනමින් පිරවීම අත්‍යවශ්‍ය බව සඳහන් කර ඇත.
මීට පෙර, පසුගිය මැයි 25 වැනිදා ද නීතිඥ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම පිළිබඳ පළ වූ වාර්තා සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කර තිබුණි.
එම ලිපියට මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද නීතිඥ සංගමය පෙන්වා දෙන අතර, තමන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටී.
අදාළ යෝජනා ක්‍රියාත්මක වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසයටද අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම යාමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු පුරප්පාඩුව ඇති වූ අතර, පසුව ජනාධිපති නීතිඥ එස්. තුරෙයිරාජා, කුමුදිනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විශ්‍රාම යාමත් සමඟ එම අධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව හතර දක්වා ඉහළ ගොස් ඇත.
එසේම, අභියාචනාධිකරණයේද විනිසුරු පුරප්පාඩු හතරක් මේ වන විට පවතින බවත්, ඒවාද මෙතෙක් පුරවා නොමැති බවත් සංගමය පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(1) වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය වගකීමක් බව සිහිපත් කරන නීතිඥ සංගමය, එම පුරප්පාඩු දීර්ඝ කාලයක් පුරා නොපිරවී පැවතීම අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවට සහ ව්‍යවස්ථාමය වගකීම් ඉටුකිරීමට බාධාවක් විය හැකි බවද සිය ලිපියෙන් සඳහන් කර තිබේ.

