අද (11) දිනයේ සබරගමුව පළාතට මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වරින් වර වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම බස්නාහිර හා වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සුළු වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවද අනාවැකියේ දැක්වේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු මැද පළාතේ මෙන්ම මොනරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

