මහා භාණ්ඩාගාරයේ භාවිත කළ ඊමේල් (E-mail) පද්ධතිය 2019 වසරේ සිට යල්පැන තිබූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ අනාවරණය කර තිබේ.
SLCERT නිලධාරීන් පෙන්වා දුන්නේ, එම ඊමේල් පද්ධතිය හරහා හුවමාරු වූ පණිවිඩ ප්‍රමාණවත් ආරක්ෂාවකින් තොරව පැවති බවයි.
මෙම කරුණු අනාවරණය වූයේ මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට යොමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කළ විමසීම්වලදීය.
SLCERT නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ, මහා භාණ්ඩාගාරයේ ඊමේල් සේවාදායකය (E-mail Server) 2016 වසරේදී ස්ථාපනය කර ඇති අතර, එය 2019 වසර වන විට යල්පැන තිබූ බවයි. එසේ තිබියදීත් 2026 දක්වා අවශ්‍ය ආරක්ෂක යාවත්කාලීන කිරීම් (Updates) නොමැතිව එය භාවිත කර ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.
ඒ හේතුවෙන් මහා භාණ්ඩාගාරයේ තොරතුරු අනාරක්ෂිත තත්ත්වයකට පත්වී තිබූ බවත්, තොරතුරු පිටතට ගොස් ඇත්තේ එම යල්පැනගිය පද්ධතිය හරහා බවත් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.
මේ අතර, රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්ෂාව සම්බන්ධ මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ආරක්ෂක තක්සේරු (Security Assessment) සිදුකිරීම SLCERT විසින් අඛණ්ඩව සිදුකරන බවද එහි නිලධාරීන් සඳහන් කළහ.
2025 සැප්තැම්බර් මාසයේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ආරම්භ කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයටද අවශ්‍ය ආරක්ෂක උපදෙස් සහ නිර්දේශ ලබාදී ඇති බව SLCERT වැඩිදුරටත් CoPF කමිටුව හමුවේ ප්‍රකාශ කළේය.

