සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් එක් අයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම අනතුරෙන් පසු නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ කොටසක්ද අවහිර වී තිබුණි.
වටවල ප්‍රදේශයේ මහවැලි ගඟ හරහා ඇති පාලමකින් වැටී 53 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
මේ අතර ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ ජලයෙන් යටවූ මාර්ගයක ගමන් කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුව අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

